(තරිඳු ජයවර්ධන)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහා භාරකරු වෙත දීමනා පත්‍රයකින් ලබාදෙන ලද අම්බුළුවාවේ ඉඩම් කොටස්, අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් එම භාරකාර මණ්ඩලයේ ම සාමාජිකයන් සිව්දෙනකු කොටස්කරුවන් වන පෞද්ගලික සමාගමකට බද්දට දී ඇති බවත්, එම පෞද්ගලික සමාගම විසින් තවත් පුද්ගලයන්ට ඉඩම් අතුරු බදු දී ඇති බවත් MediaLK වෙත අනාවරණය වේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද 2009 අංක 44 දරණ පනත මගින් ස්ථාපිත අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල යනු අල්ලස් පනතේ උපලේඛනගත ආයතනයක් වන අතර, එම අරමුදලේ සියලු නිලධාරීන් සහ සේවකයන් රජයේ සේවකයන් ලෙස සැලකේ.
මෙම අරමුදල පාලනය කරනු ලබන්නේ භාරකාර මණ්ඩලයක් මගින් වන අතර, එම භාරකාර මණ්ඩලයේ වර්තමාන සාමාජිකයන් මෙසේ ය.
-
දිසානායක මුදියන්සේලාගේ අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න (සභාපති)
-
සමරවික්‍රම මුදියන්සේලාගේ ඉන්දික ප්‍රසාද්
-
ගොඩමුන්න වෙදගෙදර චන්ද්‍රරත්න
-
සිවන් ඥාණසේකරන්
-
මීවතුරේ වජිරඥාන හිමි
-
එන් එම් අසාත් අලි
-
ජයසේකර මුදියන්සේලාගේ සේනානායක බණ්ඩාර
මෙම පිරිසට අමතරව බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම්වරයා සහ පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ද මෙම අරමුදලේ සාමාජිකයෝ වෙති.
අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල යනු පනතකින් ස්ථාපිත කිරීමට පෙර අම්බුළුවාව පරිසර සංවර්ධන සහ සංරක්ෂණ භාර අරමුදල ලෙස මහා භාරකරු, ආරක්ෂක භාරකරු ලෙස යොදමින් සකස් කරන ලද භාරයකි. එහි අරමුණ ලෙස 2000 වසරේ සැප්තැම්බර් පළමු වැනිදා අත්සන් කරන ලද භාරකාර ඔප්පුවේ සඳහන් වන්නේ අම්බුළුවාවේ පරිසරය හා ජෛව විවිධත්වය සංවර්ධනය කිරීම හා සංරක්ෂණය කිරීමයි.
ඉඩම් ඇමැතිවරයා ලෙස දිසානායක මුදියන්සේලාගේ ජයරත්න මහතා (දී මූ ජයරත්න) 2001 වසරේ ජූලි මස 03 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින් අම්බුළුවාවේ පරිසරය හා ජෛව විවිධත්වය සංවර්ධනය කිරීම හා සංරක්ෂණය කිරීමේ අරමුණින් පිහිටුවන ලද අම්බුළුවාව පරිසර සංවර්ධන සහ සංරක්ෂණ භාර අරමුදල වෙත ‘දැනට සිදු කරනු ලබන ජෛව විවිධත්ව සංවර්ධන කටයුතු සඳහා සහ අනෙකුත් අනාගත සංවර්ධන කටයුතු සඳහා ‘ඉඩම් හෙක්ටයාර 91.771ක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේය. ඊට වසරකට පසු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම භාර අරමුදල වෙනුවෙන් මහා භාරකරුට දීමනා පත්‍රයකින් ඉඩම් ලබාදීම සිදු කර ඇති අතර, ඉඩමේ හිමිකාරිත්වය මහා භාරකරුට පවරා තිබේ. එලෙස බාරදීමේදී දීමනා පත්‍රයේ අභ්‍යන්තරයේ ඉඩම් ප්‍රමාණයක් සඳහන් නොවන අතර, ඊට අමුණා ඇති උප ලේඛන ගණන ද දීමනා පත්‍රයේ සඳහන් නොවේ. ඒ සමග අ සිට ඊ දක්වා උප ලේඛන ඇතුළත් වන අතර, ඉ ලෙස උප ලේඛනයක් නැත. අදාළ උප ලේඛනවල ඉඩම් ප්‍රමාණයේ එකතුව හෙක්ටයාර 112.6149කි. එනම් කැබිනට් මණ්ඩලය අනුමත කළ ඉඩම් ප්‍රමාණයට වඩා හෙක්ටයාර 20.8439ක් වැඩියෙන් දීමනා පත්‍රය මගින් ලබාදී තිබේ.
මෙම ඉඩමේ ඇතැම් කොටස් අම්බුළුවාව භාරකාර මණ්ඩලය මගින් දුරකතන සේවා සමාගම්වලට කුළුණු ඉදිකිරීමට බදුදී ඇති අතර, එම ඇතැම් බදුදුන් අවස්ථාවලදී ඉඩමේ හිමිකරු මහා භාරකරු ලෙස සඳහන් කර තිබේ. ඇතැම් බදු දුන් අවස්ථාවලදී ඉඩමේ හිමිකරු ලෙස සඳහන් කර ඇත්තේ අම්බුළුවාව භාරකාර අරමුදලයි.
මේ අතර අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ලිපිනය භාවිත කරමින් 2021 වසරේ මාර්තු 18 වැනිදා ඇක්ට් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටට් නමින් සමාගමක් ආරම්භ කර ඇති අතර, එහි ආරම්භක අධ්‍යක්ෂවරුන් ලෙස සඳහන් වන්නේ පහත පුද්ගලයන් ය.
1) ගඟහා ගෙදර හසිත මදුරංග අමරකෝන්
2) තනුර චන්ද්‍රල පනාපිටිය
3) සුබසිංහ මුදියන්සේලාගේ සුරේෂ් දීපාල් (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ සහෝදරියගේ සැමියා)
4) නයීම් මොහොමඩ් අසාඩ් අලි (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
5) සිවන් ඥාණසේකරන් (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
6) ගොඩමුන්නේ වෙදගෙදර චන්ද්‍රරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
7) ජයසේකර මුදියන්සේලාගේ සේනානායක බණ්ඩාර (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
ඇක්ට් වෙන්චර්ස් සමාගම 2022 දෙසැම්බර් 31 වැනිදා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පෝරම 15 ලේඛනය අනුව එහි කොටස් හිමියන් මෙසේ ය.
1) ගොඩමුන්නේ වෙදගෙදර චන්ද්‍රරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩල සාමාජික)
2) සිවන් ඥාණසේකරන් (අම්බුළුවාව භාරකාර මණ්ඩල සාමාජික)
3) නයීම් මොහොමඩ් අසාඩ් අලි (අම්බුළුවාව භාරකාර මණ්ඩල සාමාජික)
4) සමරසිංහ හේරත් චාමන් ඩිලංග කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපතිගේ බිරිඳගේ සහෝදරයා)
5) සුබසිංහ සුරේෂ් දීපාල් (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපතිගේ සහෝදරියගේ සැමියා)
6) තනුර චන්ද්‍රල පනාපිටිය
7) ජයසේකර මුදියන්සේලාගේ සේනානායක බණ්ඩාර (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
8) ගඟහා ගෙදර හසිත මදුරංග අමරකෝන්
එම සමාගමේ කොටස්හිමියන් අටදෙනාගෙන් හතර දෙනෙකු අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ ද සාමාජිකයන් වන අතර, තවත් දෙදෙනකු අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ ළඟ ම ඥාතීන් වේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය දීමනා පත්‍රය මගින් මහා භාරකරුට ප්‍රදානය කළ ඉඩම් අතරින් කොටසක් අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් 2020 දෙසැම්බර් මස 12 වැනිදා විජේබණ්ඩාර නම් මිනින්දෝරුවකු ලවා මැනුම් කර ඇති අතර, අක්කර 01යි පර්චස් 32.3ක එම කොටස සිංහපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමට අයත් වේ. අම්බුළුවාව භාරකාර මණ්ඩලය එම ඉඩම් කොටස 2022 මාර්තු 10 දිනැති බදු ගිවිසුමක් මගින් අම්බුළුවාව භාරකාර මණ්ඩලයට සම්බන්ධ බහුතරයක් අධ්‍යක්ෂවරුන් සහ කොටස් හිමියන් සිටින අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ම ලිපිනයට ලියාපදිංචි කර ඇති ඇක්ට් වෙන්චර්ස් පෞද්ගලික සමාගමට බදු දී තිබේ. 2021 මාර්තු පළමුවැනිදා සිට 2031 පෙබරවාරි 28 වැනිදා තෙක් ක්‍රියාත්මක වන පරිදි එම කොටස බදු දී ඇත්තේ රුපියල් 12,600,000ක වටිනාකමකට ය.
එසේ බදු දුන් ඉඩම් කොටස එම ඇක්ට් වෙන්චර්ස් පෞද්ගලික සමාගම විසින් 2022 සැප්තැම්බර් 08 දිනැති බදු ගිවිසුමක් මගින් කොළඹ 10, ටී බී ජයා මාවතේ 464 ඒ හි පළමු මහලේ කාර්යාලය පිහිටි Core Holdings Lanka (Private) Limited නම් පෞද්ගලික සමාගමකට රුපියල් 12,600,000කට නැවත අතුරු බදු දී තිබේ. එනම් මහා භාරකරුට අයත් ඉඩමක් පෞද්ගලික සමාගමක් විසින් තවත් පෞද්ගලික සමාගමකට බදු දී ඇත. Core Holdings Lanka (Private) Limited නම් එම ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා සහ කොටස් හිමියා ලෙස සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛනවල සඳහන් වන්නේ මොහොමඩ් හිෂාම් ජමල්ඩීන් මහතාය. ඒ මහතා අම්බුළුවාවේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලය අයත් බව කියන සමාගමේ ද අධ්‍යක්ෂවරයෙකි. ඩබ්ලිව් 15 හෝටලය සඳහා ලබා දී තිබුණේ මහජන බදු මුදලින් සකස් කරන ලද ගොවිජන සම්මන්ත්‍රණ ශාලාව වේ.
2022 වසරට අදාළ විගණකාධිපති වාර්තාවේ ඒ ගැන මෙසේ සඳහන් වේ.
‘අරමුදල් භාරය සතු සම්මන්ත්‍රණ ශාලාව අරමුණුගත කාර්යයට යොදවා ගැනීමකින් තොරව වෙනත් ව්‍යාපෘතික කටයුත්තක් සඳහා සමාලෝචිත වර්ෂයේ මාර්තු 10 දින සිට ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමකින් තොරව බදු පදනම මත පෞද්ගලික සමාගමක් වෙත ලබාදී තිබිණි.‘
මේ ආකාරයට ම අම්බුළුවාව භාරකාර අරමුදලට අයත් අක්කර 1යි පර්චස් 7.91ක කොටසක් 2023 පෙබරවාරි මස 22 දින එම් ඩබ්ලිව් එස් චන්ද්‍රරත්න නම් මිනින්දෝරුවකු ලවා මැනුම් කර, 2023 මාර්තු 16 දිනැති බදු ගිවිසුමක් මගින් එම භාරකාර මණ්ඩලයේ ම සාමාජිකයන් කිහිපදෙනකු සහ එම භාරකාර මණ්ඩලයේ සභාපතිවරයාට ඥාති සම්බන්ධකම් ඇති කිහිපදෙනකු ද කොටස් හිමිකාරිත්වය දරන ඇක්ට් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් නම් සමාගමට 2023 ජනවාරි මස 07 වැනිදා සිට 2031 ජනවාරි මස 06 වැනිදා තෙක් ක්‍රියාත්මක වන පරිදි රුපියල් 7,200,000ක මුදලකට බදු දී ඇත.
ඇක්ට් වෙන්චර්ස් පෞද්ගලික සමාගම එසේ බදු ගත් එම ඉඩම් කොටස 2024 පෙබරවාරි මස 21 දිනැති බදු ඔප්පුවක් මගින් මහනුවර, උඩුනුවර පදිංචිකරුවකු බව කියන ඉහළ ගෙදර සුනිල් රූපසිංහ නමැත්තාට රුපියල් 5,760,000ක මුදලකට 2024 පෙබරවාරි මස 16 වැනි දින සිට 2026 ඔක්තෝබර් දක්වා අතුරු බදු දී තිබේ. එනම් මහා භාරකරුට අයත් අම්බුළුවාවේ ඉඩම් කොටසක් අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් එම භාරකාර මණ්ඩලයට සෘජු සම්බන්ධයක් ඇති එම ලිපිනයේ ම ලියාපදිංචි කර ඇති සමාගමකට රුපියල් ලක්ෂ 72කට වසර 08කට බදු දී ඇති අතර, එම සමාගම රුපියල් ලක්ෂ 57කට වසර දෙකකට පමණක් අතුරු බද්දක් ලබාදී තිබේ.
අම්බුළුවාවේ තවත් ඉඩම් කොටසක් ගොඩනැගිලි ද සමඟ මේ ආකාරයටම එම් ඩබ්ලිව් එස් චන්ද්‍රරත්න නම් මිනින්දෝරුවකු ලවා මැනුම් කර, 2023 මාර්තු 16 දිනැති බදු ඔප්පුවක් මගින් ඉහත සඳහන් කළ ඇක්ට් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් නම් අම්බුළුවාව ලිපිනයේ ම ලියාපදිංචි කර ඇති පෞද්ගලික සමාගමට බදු දී තිබේ. මෙම ඉඩම් කොටසේ විස්තරය ලෙස සඳහන් වන්නේ ඇරඹුම් මධ්‍යස්ථානය සහ කෝපි ෂොප් ඇතුළු ගොඩනැගිලි 2023 ජනවාරි 07 වැනිදා සිට 2031 ජනවාරි තෙක් රුපියල් 4,800,000කට බදු දී ඇති බවයි. කෙසේ වෙතත් මෙම ස්ථානයේ පිහිටි අදාළ ගොඩනැගිල්ල මේ වන විට ‘ජාවා ලොන්ජ්‘ විසින් පවත්වාගෙන යන අතර, ජාවා ලොන්ජ් සහ ඇක්ට් වෙන්චර් සමග අත්සන් කළ බදු ගිවිසුමක තොරතුරු අනාවරණය නොවීය.
මේ ආකාරයටම තවත් ඉඩම් කොටස් කිහිපයක් බදු දී තිබේ. එසේ ඉඩම් කොටස් දෙකක් බදු දී තිබුණේ කේබල් කාර් ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගමට ය. ඊට අදාළ තොරතුරු පහත දැක්වේ.
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට සම්බන්ධ සමාගම් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන්/කොටස් හිමියන් ගැන තොරතුරු පහත දැක්වේ.
අම්බුළුවාවේ භාරකාර මණ්ඩලය
-
දිසානායක මුදියන්සේලාගේ අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න (සභාපති)
-
සමරවික්‍රම මුදියන්සේලාගේ ඉන්දික ප්‍රසාද්
-
ගොඩමුන්න වෙදගෙදර චන්ද්‍රරත්න
-
සිවන් ඥාණසේකරන්
-
මීවතුරේ වජිරඥාන හිමි
-
එන් අසාත් අලි
-
ජේ එම් සේනානායක බණ්ඩාර
අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ මුල් අධ්‍යක්ෂ මණ්ඩලය (ලියාපදිංචිය 2023 ජුනි 16)
-
හුආං යුපින්
-
සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා)
-
ජයසේකර මුදියන්සේලාගේ සේනානායක බණ්ඩාර (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
-
සුබසිංහ මුදියන්සේලාගේ සුරේෂ් දීපාල් සුබසිංහ (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ සහෝදරියගේ සැමියා)








